විදුලි කණුවක නැඟ  විරෝධතා පෑ අයෙක් අත්අඩංගුවට


 

 
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

තම නිවසට යාමට ඇති මාර්ගය අවහිර නොකරන්නැයි ඉල්ලා මාතර පොල්හේනේ පදිංචි තිදරු පියෙකු මාතර මහ නගර සභාව ඉදිරිපිට විදුලි කණුවකට නැග භූමීතෙල් ඇගට හලා ගන්නා අවස්ථාවේ දී ඔහුට ජලය විද බිමට බස්සවා ගැනීමට පොලීසිය හා නගර සහා සේවකයින් අද (14) කටයුතු කලේය.

එසේ විදුලි කණුවක අඩි විස්සක් පමණ උඩට නැග විරෝධතාවය සිදු කලේ සුමිත් කුමාර මතගධීර (39) නැමැති වාහන ටින්කරින් වැඩ කරන්නෙකි.

මේ නිසා මාතර නගරය තුල දැඩි උණුසුම් තත්වයක් ඇති වී තිබු අතර අධික රථ වාහන තදබදයක් ද පැවතියේය.

තමාට සාධාරණයක් ඉටු කරන ලෙසත් එසේ නොමැති වුවහොත් ගිනි තබා ගන්නා බවත් ඔහු ප්‍රකාශ කලේය.

ඒ අනුව ඔහු තම සිරුරට භූමිතෙක් වත් කර ගන්නා අවස්ථාවේ දී මාතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ජල බුවුසරයකින් නොකඩවා ජලය ඉසීමට පටන් ගත්තේය.

පසුව පහලට බස්සවන යන්ත්‍රයක් ගෙන්වා ගෙන ඔහු බිමට බස්සවා ගන්නා ලදි.

ඉන් පසුව ඔහු පොලීසිය සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගනු ලැබීය.